ගොම්බානිය කදු ශිඛරය තරණය කරමු

June 28, 2023
1
Views

නක්ල්ස් කදුකර කලාපයේ උසම ශිඛරය වන්නේ ගොම්බානිය කදු මුදුනයි. මෙය නක්ල්ස් කදුකරයේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති කදු මුදුනකි. මුහුදු මට්ටමේ සිට උසින් මීටර 1906ක් වන මේ ගොම්බානිය කදු මුදුන අයත් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයටයි. Google Map වලින් කන්දේ පිහිටීම පහසුවෙන් සොයා ගත හැකිය.

ඔබ මේ කදු මුදුන තෙක් සංචාරය කරන්නට කැමති නම් පළමුව පැමිණිය යුත්තේ මහනුවර හෝ මාතලේ සිට වත්තේගම නගරයටයි. එතැන් සිට ඔබ පන්විල හරහා හුලුගග නගරයට පැමිණිය යුතුය. මෙම හුලුගග නගරය තවත් සංචාරක ඉසව්වක් වන්නේ එහි සුන්දර හුලුගග ඇල්ල පිහිටා තිබෙන නිසාය. මෙම හුලුගග නගරයේ සිට ඔබ මින් පසු ගමන් කළ යුත්තේ අලකොලය වතුයාය හරහා එහි Upper Division එක වන රත්නතැන්න වෙතයි. මේ යන ගමනේදී ඔබට තවත් සුන්දර දිය ඇල්ලක් වන තාලිය වැටුණු ඇල්ලද හමුවේ. මෙම රත්නතැන්න තුළ සංචාරකයින් සදහා ඉදිකළ summer hut ආදියද තිබෙන නිසා Night Camping කිරීම කළ හැකිය. ගොම්බානිය තරණයට යොදාගන්නා තවත් මාර්ග ඇතිමුත් එයින් පහසුම මග ඇත්තේ මේ අලකොලය වතුයායේ රත්නතැන්න හරහා තිබෙන මාර්ගයයි.

රත්නතැන්නේ සිට ගමන් අරඹන ඔබට එහි නිරිත දිගින් ගොම්බානිය කදු මුදුන දැකිය හැකි වනවා ඇත. කදු මුදුන තෙක් පැහැදිලි ගමන් මගක් ඇති අතර ඉහළට යාමේදී කුඩා උණබට ගහණය වැඩි වන නිසා මාර්ගය වැරදීමටද හැකියාවක් පවතී. මේ නිසා ඔබ යන මග පිළිබඳව විමසිලිමත් වීම උචිත වේ. එසේම මෙම ගමනේදී කූඩැල්ලන්ට මුහුණ දීමටත් ඔබ සැරසී පැමිණිය යුතුවේ. මෙම කදුවැටිය අවට කලාපයේ කාලගුණය නිරන්තර හා ක්ෂණිකව වෙනස් වීම් වලට ලක්වේ. මේ නිසා ඔබ ඊට සූදානම්ව කදු තරණය ආරම්භ කළ යුතුවේ. මෙම කදුකර කලාපයේ ශාකද අධික සුළගට හා සීතලට ඔරොත්තු දෙන ආකාරයට සැකසී ඇත.

කන්ද මුදුන තෙක් ගමන් කිරීමේදී View Points කීපයක්ම හමුවන අතර කදු මුදුනට හුලුගග, පන්විල, කැලෑබොක්ක, රිවර්ස්ටන්, මානිගල, කුඩා ඔය, වල්පොලමුල්ල හා මහියංගන ප්‍රදේශත් දර්ශනය වේ. කදු වශයෙන් ගත් කළ යකුන්ගේ හෙළ හා කිරිගල්පොත්ත යන කදු පැහැදිලිව දැකිය හැකිවේ. කන්ද මුදුනේ ඇති ගල්තලාව්වේ හිදිමින් ඡායාරූප ගැනීම හා වෙහෙස නිවා ගැනීම කළ හැකිය. මෙම ගල්තලාවේ කලින් පැමිණි සංචාරකයින් පිහිටවූ සංචාරක සටහන්ද දැකිය හැකිවේ.

ඔබේ ගොම්බානිය කදු තරණය සදහා සංචාරක මග පෙන්වන්නෙකුගේ සහය අවශ්‍යනම් ඒ සදහා මෙම දුරකථන අංකය අමතා ඔබේ සහාය ලබාගන්න:

071 085 7333 (Kalana)

ගොම්බානිය තරණය කරන්නට ඔබත් ඉදිරියේදී සැලසුම් කරන්නේ නම් Forest Department එකෙන් ඒ සදහා අවසර ගැනීම වැදගත් වේ. මන්ද මේ කන්ද අයත් වන්නේ නක්ල්ස් සංරක්ෂිත කලාපයට නිසාය. එසේම දැන්නම් ඔබට මෙම කන්ද තරණයට රත්නතැන්නට යාමේදී ටිකට් පතක්ද ගැනීමට සිදුවන බවද අපට සැල විය. ගමනට අදාල තවත් බොහෝ විස්තර lakdasun.org සංචාරක වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිවේ. එබැවින් මේ සියලු කරුණු සිහියේ තබාගෙන මේ කන්ද තරණය කරනු මැනවි කියා අප ඔබෙන් ඉල්ලා සිටිමු.

Article Categories:
1 Day Trips · Hiking Trips · Mountain Climbing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *